Lakbima Newsවිදේශ කටයුතු අමාත්‍යාංශය හා විදේශ සේවය පිළිබදව පසුගිය සති දෙක තුළ විශාල ආන්දෝලනයක් ඇතිවිය. ඒ විදේශ කටයුතු අමාත්‍යාංශයේ අධීක්ෂණ මන්ත්‍රී සජින් ද වාස් ගුණවර්ධන හා බ්‍රිතාන්‍යයේ සිටින ශ්‍රී ලංකා මහ කොමසාරිස් දොස්තර ක්‍රිස් නෝනිස් අතර ඇතිවු ගැටුම නිසාය. ලංකාවේ විදේශ සේවයේ වෘත්තීයභාවය ගැන වැඩි අවධානයක් යොමු කරන පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය රජීව් විජේසිංහ මේ ක්‍රියාදාමය පසුගියදා විවේචනය කළේය. විදේශ කටයුතු අමාත්‍යාංශය ගැන ඔහු දක්වන අදහස් පිළිබදව මෙන්ම විදේශ කටයුතු අමාත්‍යාංශය තුළ ඇතිවී තිබෙන තත්ත්වය හමුවේ ලංකාවට ජාත්‍යන්තර බලපෑම් තීරණය වන ආකාරය ගැන මහාචාර්ය රජීව් විජේසිංහ සමග ලක්බිම කළ සම්මුඛ සාකච්ඡාවකි මේ.

ලංකාවේ තානාපති සේවය වෘත්තීයභාවයකින් යුත් තානාපති සේවයක් ලෙස හැඳින්විය හැකිද?
තානාපති සේවයේ දුර්වලතා රැසක් තිබෙනවා. ලංකාවේ විදේශ සේවය ආරම්භ වන විට ඔවුන්ට නිසි පුහුණුවක් ලැබුණේ නැහැ. එහෙත් විදේශ සේවයට හොඳ පිරිසක් එක්වීම නිසා එය සාර්ථකව ඉදිරියට ගියා. ලංකාවේ විදේශ සේවය ආරම්භයේ සිටම හොඳ තානාපතිවරුන් ලෙස කටයුතු කළේ විදේශ සේවය තුළ සිටි තානාපතිවරු නොවෙයි. විදේශ සේවයට පිටින් පත් කළ අය තමයි හොඳම තානාපතිවරු ලෙස කටයුතු කර ඇත්තේ.

ශර්ලි අමරසිංහ, නෙවිල් කනකරත්න, ක්ලෝඩ් කොරයා වගේ නම් රැසක් මට ඉදිරිපත් කරන්න පුළුවන්. 1948 සිට 1980 වෙ තානාපති සේවයෙන් පැමිණි හොඳ තානාපතිවරු සිටියේ එක් අයෙක් දෙන්නෙක් පමණයි. එයට හේතුව වන්නේ විදේශ සේවයට එක්වන අයට නිසි පුහුණුවක් නොලැබිමයි. අපි නිසි පුහුණුවක් නොදීම නිසාත් ලංකාවේ විදේශ ප්‍රතිපත්තියක්  ස්ථිරව පවත්වාගෙන නොයෑම නිසා විදේශ සේවය තහවුරු වූයේ නැත. ජේ.ආර්.ජයවර්ධන ජනාධිපතිවරයා විදේශ ප්‍රතිපත්තිය වෙනස් කරන විට විදේශ කටයුතු අමාත්‍යාංශ ‍ලේකම් ධුරයට පැමිණි තිස්ස විජයරත්න ගමේ ළමුන් විදේශ සේවයට බඳවාගත්තා. ඉංග්‍රීසි භාෂාවට වැඩි අවධානයක් යොමු කළේ නැහැ. මේ නිසා විදේශ සේවය පසුබැස්සා.
මෙහි වාසිය ලබාගත් ජේ.ආර්. ජයවර්ධන ජනාධිපතිවරයා තානාපති කාර්යාලවල දෙවැනි, තෙවැනි තනතුරු සඳහා දේශපාලන පත්කිරීම් කළා. මේ නිසා තමයි විදේශ සේවය දේශපාලනීකරණය වුණේ. වත්මන් ආණ්ඩුව යටතේත් මේ දේශපාලන පත්වීම් සිදුවෙනවා. මේ දේශපාලන පත්වීම් නිසා විදේශ සේවයේ වෘත්තීය භාවය බිඳවැටුණා. ඒ වගේම දැන් විදේශ අමාත්‍යාංශයේ සිටින සමහර අය ආණ්ඩුවේ ඉහළ අයගේ ඔළුවට දමා ඇත්තේ තමුන්ට පමණක් ඉංග්‍රීසි හැකි බවයි.

Lakbima Sinhalaවිදේශ කටයුතු අමාත්‍යාංශයේ නිලධාරීන්ගේ වෘත්තීයභාවය වර්ධනය කිරීමට ඔබ මැදිහත් වුණා. එය ඉදිරියට ගෙන නොගියේ ඇයි?
විදේශ කටයුතු අමාත්‍යාංශයේ නිලධාරීන්ට නිවේදන සකස් කිරීම ගැන පුහුණුවක් ලබාදීමට මම සූදානම් වුණා. ඒත් එය ක්‍රියාත්මක කිරීමට අවස්ථාව විදේශ කටයුතු ඇමැතිවරයා මට ලබාදුන්නේ නැහැ. මේ ගැන මම ජනාධිපතිවරයාගෙන් විමසුවා. එවිට ඔහු කීවේ මහාචාර්යවරයෙක් තවත් මහාචාර්යවරයෙක් දැක්කාම බය වෙනවානේ කියලයි. ඒ කියන්නේ ජනාධිපතිවරයත් විදේශ කටයුතු ඇමැතිවරයාගේ හැසිරීම දන්නවා.

ඔබ මේ කටයුතුවලට මැදිහත්වූයේ නියෝජ්‍ය විදේශ කටයුතු ඇමැතිකම බලා‍පොරොත්තුවෙන් නොවේද?
ජනාධිපතිවරයා බලයට පත්වීමෙන් පසුව විදේශ කටයුතු අමාත්‍ය ධුරයට පත් කිරීමට අයෙක් නැති බව මා සමග පැවැසුවා. ඒ වෙලාවේ මම කීවේ මට නියෝජ්‍ය ඇමැතිකම දෙන්න කියලයි. ඒ වෙලාවේ ජනාධිපතිවරයා හිතුවේ මමත් සාමාන්‍ය අය වගේම තනතුරු ගන්න හදනවා කියලයි. එය එසේ නොවන බව මම ජනාධිපතිවරයාට පෙන්වා දුන්නා. මම ඒ තනතුරු ගැන කතා කළේ විදේශ කටයුතු අමාත්‍යාංශයට කවුරුත් නොමැති බව පැවැසූ නිසයි. එසේ නොමැතිව තනතුරු බලාගෙන නොවෙයි.

විදේශ සේවයේ සිටින දක්ෂ නිලධාරීන්ට තමන්ගේ දක්ෂතා පෙන්විය හැකි තානාපති ධුරයන් ලැබි තිබෙනවාද?
බ්‍රසල්ස්වල පී.එම්. අම්සා, ප්‍රසාද් කාරියවසම්, චිත්‍රානි වාගීෂ්වරී වගේ දක්ෂ තානාපතිවරුන් විදේශ සේවයට පත්වී සිටිනවා. විදේශ සේවයේ සිටින තවත් දක්ෂ නිලධාරීන් තානාපති තනතුරු ලැබෙන තුරු බලා සිටිනවා. ඒ අතරවාරයේ පිටින් තානාපතිවරුන් පමණක් නොව අනෙක් තනතුරු සඳහාද පත් කරනවා. මේ නිසා විදේශ සේවයේ වෘත්තීයභාවය දියුණුවීමට අවස්ථාවක් ලැබුණේ නැහැ. තානාපති කාර්යාලවල දෙවැනි තුන්වැනි තැන්වලට විදේශ සේවයට බාහිරින් පත් කිරීම් කළ යුතු නැහැ. දයාන් ජයතිලක, තමාරා කුගනායගම්, ක්‍රිස් නෝනිස්,  අසිත පෙරේරා, සරත් කෝන්ගහගේ වැනි විදේශ සේවයට බාහිරින් පත් කළ තානාපතිවරු විශිෂ්ට සේවයක් කළා. ඔවුන් තරම් විශිෂ්ට නැතත් නාවලගේ බෙනට් කුරේ වැනි තානාපතිවරු පවා නරක නැහැ. ප්‍රශ්නය තිබෙන්නේ මොවුන්ට සහය දීමට විදේශ සේවයේ දක්ෂ කාර්යමණ්ඩලයක් නොමැති වීමයි. විදේශ සේවයේ සිටින නිලධාරීන්ගේ පරිපාලනය හරිම දුර්වලයි. ප්‍රසාද් කාරියවසම් වරක් මට පැවසුවේ තමන් ජනාධිපතිවරයාට යවන ලියුම් ඔහුට නොලැබෙන බවයි. ඔහු විදේශ සේවයේ තානාපතිවරයෙක් නිසා තමන් යවන ලිපි යැවිය යුත්තේ විදේශ කටයුතු අමාත්‍යාංශය හරහායි.

2010 වසරින් පසුව තානාපති සේවයේ සිටි දයාන් ජයතිලක, තමාරා කුගනායගම් වැනි දක්ෂ තානාපතිවරුන්ට තනතුරු අහිමිවෙනවා. ඔවුන් තානාපති ධුරවලින් ඉවත් කරන්නේ කිසියම් කුමන්ත්‍රණයක් නිසාද?
මගේ අදහස ඔව් යන්නයි. මේ කුමන්ත්‍රණයට හේතු දෙකක් තියෙන්න පුළුවන්. එකක් තමයි ඉරිසියාව. මේ අය හොඳින් කටයුතු කළා. ඒ වගේම ඔවුන් ජනාධිපතිවරයා සමග සෘජුවම ගනුදෙනු කළා. ඒ ගැන ඉරිසියාවක් ඇතිවෙලා තිබෙනවා. ඒ වගේම විදේශ කටයුතු අමාත්‍යාංශයේ වත්මන් ‍ලේකම්වරිය වන ක්ෂෙනුකා සෙනවිරත්න කටයුතු කළ ආකාරය සම්බන්ධයෙන් ගැටලු ඇතිවී තිබෙනවා.

ජාත්‍යන්තර වශයෙන් ලංකාව මුහුණපෑ දුෂ්කර අවස්ථාවන්හිදී ඒ අභියෝගයන් සාර්ථකව ජයගත් තානාපති නිලධාරීන් ඉවත් කිරීම රටට බලපාන්නේ කෙසේද?
එකක් තමයි තානාපතිවරුන් ලෙස සේවය කිරීමට හොඳ අය සොයා ගැනීමට අපහසුවීම. දයාන් හා තමාරා දේශපාලනයට සම්බන්ධවී ඇති අය නිසා එවැනි අය සොයාගැනීම අපහසුයි. පුද්ගලික අංශයේ විශිෂ්ටයෙක් වූ ක්‍රිස් නෝනිස් වැනි අයත් දැන් ඉවත් වෙලා. මේ වගේ දක්ෂ තානාපතිවරු දැන් සොයාගන්නේ කොහෙන්ද? ජාත්‍යන්තර වශයෙන් සාර්ථකවූ තානාපතිවරුන්ට තමයි හැමවිටම ගැටලුවලට මුහුණ දුන්නේ. කිසිම දෙයක් කරන්නේ නැතිව සිටින තානාපතිවරුන්ට ගැටලුවක් නැතිව තානාපති ධුරයේ රැඳී සිටීමේ අවස්ථාව ලැබෙනවා. දක්ෂ අයට ප්‍රශ්න දානවා.

ලංකාවේ තානාපති සේවය කඩා වැටී ඇතැයි බොහෝ දෙනා චෝදනා කරනවා. මේ කඩාවැටීම ඇරඹුනේ කොතැනින්ද?
යුද්ධය පැවැති සමයේදී අපේ තානාපති සේවය හොඳින් පවත්වාගෙන ගියා. ඒත් අපේ රට වැටෙන්න ගත්තේ 2010 ඔක්ස්ෆර්ඩ් සිදුවීමත් සමගයි. ජනාධිපතිවරයා ඔක්ස්ෆර්ඩ් ශිෂ්‍ය සංගමය ඇමතීමට ගියා. එවකට බ්‍රිතාන්‍යයේ සිටි තානාපති නිලධාරීන් වූ පී.එම්.අම්සා හා නිහාල් ජයසිංහ යන දෙදෙනාම පැවසුවේ දෙවැනි වරටත් ජනාධිපතිවරයා ඔක්ස්ෆර්ඩ් ශිෂ්‍ය සංගමය ඇමැතිය යුතු නැති බවයි. ඒත් වෙනත් පිරිසක් පැවැසුවේ දෙවැනි වරටත් ජනාධිපතිවරයා එය ඇමැතිය යුතු බවයි. ඔක්ස්ෆර්ඩ් වුණත් මේක ශිෂ්‍ය සංවිධානයක රැස්වීමක්. ලෝකයේ කිසිම රටක ජනාධිපතිවරයෙක් දෙවරක් මෙහි කතා කර නැහැ. ඒත් ජනාධිපතිවරයාට විරුද්ධව විරෝධතා පැවැත්වෙන විට ශිෂ්‍ය සංගමය මේ රැස්වීම නැවැත්වුවා. ඒක අපිට සිදුවූ හානියක්. මේ සංචාරයේදී ජනාධිපතිවරයාගේ ආරක්ෂාව භාරව සිටි මේජර් ජෙනරාල් චාගි ගාල්ලගේ ලංකාවට එව්වා. ඒ වගේම ඩග්ලස් දේවානන්දාත් නැවත ලංකාවට එවීමට සූදානම් කර තිබුණා. චාගි ගාල්ලගේ ලංකාවට පැමිණි විට බ්‍රිතාන්‍ය මාධ්‍ය වාර්තා කළේ යුද අපරාධ චෝදනාවන්ට බියවී ඔහු ලංකාවට පැමිණි බවයි. එය අපේ රටට හිතකර නෑ. මේ නිසා අපේ රටේ ප්‍රතිරූපය බිඳවැටෙනවා.

ඔබ මේ විවේචනය කරන්නේ විදේශ කටයුතු අමාත්‍යාංශයේ ‍ලේකම්වරියයි. ඇය ලංකාව වෙනුවෙන් කටයුතු කරන්නේ නැතිනම් කටයුතු කරන්නේ කා වෙනුවෙන්ද?

ඒක තමයි මට හිතාගන්න බැරි. 2012දී ජිනීවා පරාජය සමග ක්ෂෙනුකා පැවසුවේ බටහිර රටවල් සමග වැඩි මිතුරුකමක් ඇතිකරගත යුතු බවයි. ජිනීවා යෝජනාවන් ගෙන ඒමට සූදානම් වන කාලයේදී ලන්ඩන් නුවර සිටියේ ක්ෂෙනුකා. ඒත් ලංකාව ගෙන ගිය යුද්ධය සාධාරණ යුද්ධයක් බව පෙන්වාදීමට මේ කාලයේ කටයුතු කළේ නැහැ.

විදේශ කටයුතු අමාත්‍යාංශයේ අධීක්ෂණ මන්ත්‍රී සජින් වාස් ගුණවර්ධන විසින් බ්‍රිතාන්‍යයේ සිටින ශ්‍රී ලංකා මහ කොමසාරිස් දොස්තර ක්‍රිස් නෝනිස්ට පහරදුන් සිද්ධියට අදාළ පරීක්ෂණයක්ද දැන් ක්‍රියාත්මක වෙනවා. මෙවැනි සිදුවීම් වාර්තාවීම ලංකාවට ජාත්‍යන්තරව කෙසේ බලපාන්න පුළුවන්ද?
බ්‍රිතාන්‍ය විදේශ කටයුතු අමාත්‍යාංශය මේ ගැන කණස්සල්ලත් පළ කර තිබෙනවා. මේ සිදුවීම දෙස බලන විට අපේ රටේ වැරදි කරන අයට දඬුවම් නොලැබෙන බවත් පරීක්ෂණ පවත්වනවානම් ඒවා පවත්වන්නේ කාලයක් ගතවූ පසුව බව පේනවා. මේ ගැන ජොන්ස්ටන් ප්‍රනාන්දු ඇමැතිවරයා කියා තිබුණේ ක්‍රිස් නෝනිස් මේ ගැන ‍පොලීසියට පැමිණිලි කළ යුතුව තිබූ බවයි. ක්‍රිස් නෝනිස් ජනාධිපතිවරයාට පසුදා උදෑසනම මේ ගැන කියා තිබුණා. අපේ රටේ ප්‍රශ්න වෙන රටක ‍පොලීසියකට කියපු නැති එක හොඳ දෙයක්. මේ වගේ සිදුවීම් වන එකේ අවාසිය අවසානයේදී අත්වන්නේ රටටයි. ජනාධිපතිවරයාට සමීප මේ අය කරන දේ නිසා රටට හොඳ නැහැ. මේ සිද්ධිය ගැන දැන් පරීක්ෂණයක් ක්‍රියාත්මක වෙනවා. මේ සිද්ධියට සම්බන්ධ අයගේ් සේවය අත්හිටුවා පරීක්ෂණ කළ යුතුයි.

මොවුන්ගේ සේවය අත්හිටුවා පරීක්ෂණයක් පැවැත්විය යුතු බවට ඔබ අදහස් පළ කරනවා. ඒත් එය කොතරම් ප්‍රායෝගික යෝජනාවක්ද?
සාමාන්‍යයෙන් පරීක්ෂණයක් පවත්වන විට එයට සම්බන්ධිත පාර්ශවල සේවය අත්හිටුවනවා. මුලින්ම ක්‍රිස් නෝනිස් ක්ෂෙනුකාට විරුද්ධව කිසිවක් පැවැසුවෙ නෑ. දැන් ක්ෂෙනුකාද පැමිණිල්ලක් කර තිබෙනවා. තමන් ‍ලේකම්ව සිටින අමාත්‍යාංශයක් විසින් තමන්ගේම පැමිණිල්ලක් සාධාරණව විභාග කරන්නේ කෙසේද? මේ නිසා සාධාරණ ක්‍රමය වන්නේ මේ  පරීක්ෂණය අවසන් වන තෙක් විදේශ කටයුතු අමාත්‍යාංශයට වෙනත් ‍ලේකම්වරයෙක් පත් කළ යුතුයි. මේ සිද්ධිය පරීක්ෂණයට ලක්වන ආකාරය දෙස බැලූ විට අපේ තානාපතිවරයෙක් සම්බන්ධවන සිද්ධියකට පරීක්ෂණ ක්‍රියාත්මක වන ආකාරය දෙස බලන විට එය අපේ හමුදාවන්ටද බලපාන බව පැවැසිය යුතුයි. මේ පරීක්ෂණය විශ්වාසදායකපරීක්ෂණයක් නොවන බව ජාත්‍යන්තරය පැවසීමට ගත් විට හමුදාවට එල්ලවී ඇති චෝදනා ගැන වන අභ්‍යන්තර පරීක්ෂණ විශ්වාසදායක පරීක්ෂණ නොවන බව ජාත්‍යන්තරය පැවැසිය හැකියි. ඒ නිසා ජාත්‍යන්තර පරීක්ෂණ අවශ්‍ය බවට ඔවුන්ට තර්ක ගොඩනැගීමේ අවස්ථාවත් ක්‍රිස් නෝනිස් සිද්ධිය හරහා උදාකර දී තිබෙනවා.

ක්‍රිස් නෝනිස් සිද්ධියේදී විදේශ කටයුතු ඇමැතිවරයාගේ මැදිහත්වීම ඔබ දකින්නේ කෙසේද?
ඇමැතිවරයා විදේශ කටයුතු අමාත්‍යාංශයට අදාළ කිසිදු තීරණයක් ගන්නේ නෑ. එහි සියලුම තීන්දු තීරණ ගන්නේ වෙනත් අයෙක්.

විදේශ කටයුතු අමාත්‍යාංශය තුළ නිසි පරිපාලනයක් නොමැතිනම් එය ජාත්‍යන්තර කටයුතුවලදී රටට බලපාන්නේ කෙසේද?
දැන් කවුරුවත් විදේශ කටයුතු අමාත්‍යාංශය ගන්න ගන්නේ නෑ. වෙනත් රටවල විශ්‍ලේෂකවරු සිටිනවා. ඒ අය වෙනත් රටවල ආණ්ඩු බලයට පත්වන විට එම ආණ්ඩුවලින් එන බලපෑම් ගැන තක්සේරු වාර්තා සකස් කරනවා. ඒත් අපේ විදේශ කටයුතු අමාත්‍යාංශයෙන් එවැනි කිසිවක් සිදුවන්නේ නෑ. ඒ විතරක් නොවෙයි අපේ විදේශ ප්‍රතිපත්තිය හා වෙනත් රටවල විදේශ ප්‍රතිපත්තිය සංසන්දනය කරමින් වාර්තා සකස් කිරීමට සුදානම් වුණා. එහෙත් ඒවා ක්‍රියාත්මක වුණේ නැහැ. රටට හොඳ එවැනි දේ ක්‍රියාත්මක නොවීම අයිතකර තත්වයක්.

විදේශ සේවය හා විදේශ කටයුතු අමාත්‍යාංශය මේ වන විට වැටී ඇති තැනින් ගොඩ ඒමට කළ යුතු වන්නේ කුමක්ද?
තනතුරු සඳහා සුදුසු අය පත් කිරීමයි.

සාකච්ඡා කළේ:  සංජය නල්ලපෙරුම

Lakbima 13 Oct 2014 – http://www.lakbima.lk/index.php?option=com_content&view=article&id=40416:2014-10-13-09-22-15&catid=48:2012-04-02-08-50-52&Itemid=75

Advertisements